Monday, December 4, 2017

ටීකා සීපද

අපේ ජන කවි අතර ටීකා සීපද නම් විශේෂයක් වේ.
හුදෙක් හාස්‍ය රසය ඉස්මතුවන මේ ගායනා විශේෂයෙන් පිරිමින් විසින් සිදු කළ අතර මෙයින් විනෝදයක් ජනිත වේ.මෙය සිංහලයේ රැප් කවිය නමින් ද හදුන්වයි.

හෙමින් හෙමින් මම ගේකට…යන කලට...
තවද ඌරන් සාවුන් වෙඩි තියන්න වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වාගේ

හෙමින් හෙමින් මම ගේකට…යන කලට
 
තවද අත්තා, මුත්තා,පනත්තා,කිත්තා,කිරිකිත්තා,සෝඬියා,පාඬියා කාලේ මහා උස් කුණාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් කඩන්නා සේ

එකෙක් ඇවිත් දුන්නයි මගේ…පිට මැදට
 
තවද නැන්දා මාමාලගේ ගෙදර ගොස් හොඳ බතක් මාලුවක් කෑවා සේ

ඒ ගුටි කකා මම පිටවි…යනකලට
 
තවද නැන්දා මාමා හූරා නෑනා කෙනෙක් එක්ක සංතෝස වේලාවකදී කොක් හඬලා සිනාසෙන්නාක් මෙන්

මංම මටම ඉලඇට නැත…සිනාවට

ගද්‍ය වැනි කොටසකින්ද  සිවු පද රීතියට වූ කොටසකින්ද සැදුනු ටීකා සීපද හාස්‍ය රසය ඉස්මතු කරයි.මෙය ටීකා වලටම විශේෂ වූ ගායනා ක්‍රමයකි.මේ තවත් එවැනි ටීකාවකි.

කජු වාරයක් ද, කොස් වාරයක් ද, දෙල් වාරයක් ද,
අඹ, රඹුටන්, මොර, හිඹටු වාරයක් ද, මොන හත්වලාවක වාරයක් ද කියන්න මම දන්නෙ නෑ

වාරේ කුරුඳු අරගෙන මම යන කලට

අලින් ගිය පාරක් ද, කොටින් ගිය පාරක් ද, මුවන් ගිය පාරක් ද, ගෝනුන් ගිය පාරක් ද,
නයින්, පොළඟුන්, පිඹුරන් ගිය පාරක් ද, මොන විදියේ පාරක් ද කියන්න මම දන්නෙ නෑ

පාරේ වැරදිලා ගියෙ කටුගස්තොටට

රත්තරන් මාලයක් ද, රිදී මාලයක් ද, තඹ මාලයක් ද, පිත්තල මාලයක් ද,
මුතු, මැණික්, වෛරෝඩි බැඳපු මාලයක් ද, මොන කෙහෙල් මල් මාලයක් ද කියන්න මම දන්නෙ නෑ

මාලේ පළඳාපු අඟනක් එගොඩ සිට

තාත්තගෙන් ආ නෑ කමක් ද, මුත්තාගෙන් ආ නෑ කමක් ද, නත්තගෙන් ආ නෑ කමක් ද, පනත්තගෙන් ආ නෑ කමක් ද,
 කිත්තගෙන්, කිරි කිත්තගෙන්, කිරි කෑ මුත්තගෙන් ආ නෑ කමක් ද කියන්න මම දන්නෙ නෑ

හුරේ ඔරුව පැදපන් කීය එගොඩට
වාරේ කුරුඳු අරගෙන   මම යන කලට
පාරේ වැරදිලා ගියෙ    කටුගස්තොටට
මාලේ පළඳාපු අඟනක්  එගොඩ  සිට
හුරේ ඔරුව පැදපන් කීය     එගොඩට

No comments:

Post a Comment